අපරාධවලට ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ සබඳතාවක් ඇතැයි වැඩබලන පොලිස්පති පවසයි.

අපරාධ සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

මෑත කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසක් අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම් කරුවන් අතර සිදුවන ගැටුම් වල ප්‍රතිඵල බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසූවේ.

ඔහු මේ අදහස් පළකලේ පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී ය.

කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් වැඩබලන පොලිස්පති හා ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන් පිරිසක් ඊට සහභාගී විය.

ආරක්ෂාව අවශ්‍යයැයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරයන්ගේ යෝජනා සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.

දැනට ආරක්ෂාව සම්බන්ධ අවසන් තක්සේරු වාර්තා ලැබී ඇති මන්ත්‍රීවරයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබේ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමන්ට දන්වන ලෙස කතානායකවරයා වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වුණා. එහිදී මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කරුණු ඉදිරිපත් කළා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අදහස් දක්වමින් තමන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සඳහා පහසුකම් නොමැතිනම් තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනි අවි ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *