අධිකරණයේ ප්‍රමාදය වලක්වන්න අභිචෝදක කාර්යාලයක්

අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා රජයේ අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.
එවැනි කාර්යාලයක් පිහිටුවීම සඳහා නව නීතියක් හඳුන්වාදීම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමට තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී දැනට බලපවත්නා නීති සඳහා අවශ්‍ය සංශෝධන හඳුන්වා දීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකිවන පරිදි අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩිනම් කිරීම එමඟින් අපේක්ෂා කෙරේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාව මඟින් ද හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ස්වාධීන අභිචෝදක අධිකාරියක් ස්ථාපිත කිරීම යෝජනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *