සාක්ෂි අමතකයිලු

රාජකාරි අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සිව් දෙනෙක් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදී තිබෙනවා.

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සිව් දෙනෙක් සාක්ෂි ලබාදීම ඊයේ (24) සිදු වුණා.

වගඋත්තරකාර පොලිස්පතිවරයාද ඇතුළුව ඔහුගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිතයි.

ඊයේ (23) දින වගඋත්තරකාර පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීම සිදුවුණා.

එසේම සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන් සිව්දෙනාද ඇතුළුව මේ වන විට වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 5 දෙනෙකු සාක්ෂි ලබාදී අවසන්.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේනගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන පුද්ගලයින්ගේ සාමාජිකත්වයෙන් කමිටුව ඊයේ පෙ.ව. 9.30 රැස්වූ අතර ප.ව. 8.10 දක්වා සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීම සිදු වුණා.


කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර ඊයේ දින කමිටුව හමුවේ සාක්ෂි ලබාදුන්නා.


මොහු කොළඹ අපරාධ කොට්ඨාසයේ වෑන් රථය පිටතට යැවීම සඳහා අනුමැතිය දීම සඳහා නිර්දේශ කළ නිලධාරියා මෙන්ම මෙම වෙඩි තැබීමේ සිද්ධියේදි මියගිය උපුල් නමැති නිලධාරියාට වන්දි ලබාදීමේ කමිටුවේ සභාපති ලෙසද කටයුතු කර තිබෙනවා.


සාක්ෂි විමසිම ආරම්භ කරමින් දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනි සිටින නීතිඥ සංජීව වීරවික්‍රම සාමාන්‍ය ප්‍රශ්න කිරිම් සිදුකළ අතර අනතුරුව කමිටුවේ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන ප්‍රශ්න රැසක් විමසා සිටියා.


එලෙස විමසු බොහෝ ප්‍රශ්න සඳහා ”මම දන්නේ නැහැ, මට මතක නැහැ.” යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබාදී තිබුණා. ඊට කමිටුවේ දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.


එහිදි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ප්‍රශ්න කිරිම් ආරම්භ කරමින් ” මොකද නියෝජ්‍ය පොලිස්පතිතුමා ඔබතුමාගේ කකුල වෙව්ලන්නේ, ඔබතුමාට අසනීපයක්ද?” යනුවෙන් අසමිනි.


”නැහැ ස්වාමීනි මම මේ වගේ කොමිසමක පළවෙනි වතාවටයි සාක්ෂි ලබාදෙන්නේ. මට පුරුදු නැහැ මේක”‘ යනුවෙන් පොලිස් නිලධාරියා එහිදි ප්‍රකාශ කර තිබෙනවා.


ඔබගේ මතය තවමත් නාඳුනන වෙඩික්කුරුවෙක් විසින් මෙම වෙඩි තැබිම සිදු කළා යන්න දැයි දිලිප පිරිස් මහතා විමසා තිබෙනවා.


”ඔව් මම ඒ මතයේ තමයි ඉන්නේ ” යනුවෙන් පොලිස් නිලධාරියා ප්‍රකාශ කර ඇත.
එවක වැඩබලන පොලිස්පතිට දැනුම් දුන්නද? යනුවෙන් විමසු අවස්ථාවේදි ඔහු පැවසුවේ තමා ඔහුට කතා කර ඒ පිළිබඳ දැනුම් දුන් බවයි.


කෙසේ වෙතත් දිගින් දිගටම සිදුවූ සාක්ෂි විමසීම් අතරතුර ඔහු පරස්පර විරෝධී පිළිතුර ලබාදිමත් සමග සභාපති විනිසුරුවරයා අසත්‍ය තොරතුරු නොපවසන ලෙස ඔහුට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.


”ඔබ නිවැරදි පිළිතුරු දෙන්නේත් නැහැ. ඔබ වගේ නිලධාරින් තමයි පොලිස් දෙපාර්තමේන්තුව අපකිර්තියට පත් කරන්නේ. ඔබ ලැජ්ජා වෙන්නත් ඕනේ මේ වගේ පිළිතුරු දිලා පොලිස් නිලඇඳුම ඇඳගෙන ඉන්න” යනුවෙන් එහිදි සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.


එසේම වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ ඉතිරි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගැනීම සඳහා පරීක්ෂණ කමිටුව අද (25) පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *