හිටපු ජනාධිපති – රනිල් වික්‍රමසිංහ මැතිතුමා ධුරය දැරූ කාලය තුළ විදේශ සංචාර 23ක් කර ඇති බවට වාර්තා වී තිබෙනවා. ඒ සංචාර අතරින් කියුබාවට සහ එක්සත් ජනපදයට ගොස් ආපසු එන අතර, එතුමාගේ භාර්යාවගේ උපාධි ප්‍රදානෝත්සවයකට රජයේ මුදල් වැයකර ලන්ඩනයට ගොස් නැවතී සිටීමක් සම්බන්ධයෙන් නඩු නිමිත්තක් තිබෙනවා. අධිකරණයට වාර්තා කර තිබෙන කරුණු අනුව ස්ටර්ලින් පවුම් 44,000කට වැඩි මුදලක් එම ගමන වෙනුවෙන් වැය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර තිබෙන්නේ දණ්ඩනීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේයි. මේ අධිකරණ ක්‍රියාදාමය ගැන අද (24 දා) උදේ මාධ්‍ය හමුවක් පැවැත්වූ විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළා. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට නොගත යුතුව තිබූ බවයි. එතුමා ඉදිරිපත් කරන්නේ නීතිමය තර්කයක්. ඒ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ, රාජ්‍යය සතු මුදල් හෝ සම්පත් කිසිම කෙනෙකුට අවභාවිතා කළ නොහැකියි යන පදනමෙනුයි. ඒක රටේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරු සිවිල් ජනතාව යන සියලු දෙනාටම එකම ආකාරයෙන් බලපවත්වන නීතියක්. රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගැනීමේ වගකීමක් රාජ්‍යයට තිබෙන නිසයි වාහන අනතුරකින් ලයිට් කණුවක් කඩාගෙන වැටුණත් තරාතිරම නොබලා වන්දි අය කරන්නේ.
නමුත් මෙතනදී විපක්ෂය දිගටම අධිකරණයේ ක්‍රියාමාර්ග විවේචනයට ලක්කරන්නේ අධිකරණයට අපහාසයක් සිදුකරනා ආකාරයෙන්. පොදු දේපළ පනත යටතට ගැනෙන්නේ රුපියල් 25,000ට වැඩි මූල්‍යමය අලාභයක් රජයට සිදුකිරීම සම්බන්ධ චෝදනා. මේ යටතේ අත්අඩංගුවට ගත් කෙනෙකු සුවිශේෂී කරුණු නැත්නම් ඇප ලබා නොදී, නඩු කටයුත්ත අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සිදු කළ හැකියි. මෙතැන නඩු නිමිත්ත වී තිබෙන්නේ පවුම් 44,000කට වැඩි, ලංකාවේ රුපියල්වලින් එක්කෝටිහැටඅට ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන්. නමුත් විපක්ෂය ජනගත කරන්න උත්සාහ කරන්නේ අධිකරණය දේශපාලනීය කරණයට ලක්කර තිබෙන බව සහ මේ මූල්‍ය අපරාධය අපරාධයක් නොවේය කියන කාරණය. පසුගිය කාලයේ එක පිරිසකට නීතිය ක්‍රියාත්මක කර, තවත් ස්ථරයකට නීතිය ක්‍රියාත්මක කළේම නැහැ. පොදුවේ ප්‍රකාශ කෙරුණේ, නීතිය කියන මකුළු දැලේ පොඩි සත්තු පැටලුණත් ලොකු සත්තු ඒක කඩාගෙන යන බවයි. අද වෙනකොට ඒ තත්වය වෙනස් කර, සෑම කෙනෙකුටම නීතිය එක හා සමාන ලෙස ක්‍රියාත්මක කරනවා. විපක්ෂය කියන්නේ ජනාධිපතිවරයෙකුට නිල හෝ පුද්ගලික බෙදීමක් ජීවිතයේ නැති බවයි. මේ ඉදිරිපත් කරන්නේ විත්තියේ තර්කයක් මිස, අධිකරණයේ තර්කයක් නොවෙයි. ජනාධිපතිවරයා මුදල් වියදම් කිරීමේදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන නීතියේ කිසිම සඳහනක් නැහැ. පොදු දේපළ පනතේ ජනාධිපතිවරයාට, ඇමතිවරුන්ට හෝ සිවිල් ජනතාවට ක්‍රියාත්මක කෙරෙන ආකාරය වෙන වෙනම දක්වා නැහැ.
විපක්ෂය කරන්නේ විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු තර්කයක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමයි. එය අධිකරණය හමුවේ කළ යුතු දෙයක්. ලංකාවේ පවතින නීතිය, විමර්ශන ක්‍රියාවලිය සහ නීතිය ක්‍රියාත්මක කිරීම යන කරුණුවලදී අත්අඩංගුවට ගැනීමට නිමිත්තක් තිබෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය පරිදි රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හෝ ඇප මත නිදහස් කිරීමේ හැකියාව තිබෙනවා. මේ ක්‍රියාමාර්ග දියත් කර තිබෙන්නේ, මෙන්න මේ නීති රාමුව යටතේයි. අධිකරණයෙන් පිට විවිධ ප්‍රකාශ කරමින් විපක්ෂය සිදුකරන්නේ අධිකරණ ක්‍රියාවලියට විශාල බලපෑමක් සිදුකිරීමයි. ඒ බලපෑම රටේ සමාජ දේහයටම ඇතුල් වී අධිකරණය සම්බන්ධයෙන් පොදු ජනතාවට අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. ඔවුන් කරන ප්‍රකාශ තුළ අධිකරණයට අපහාස කිරීමේ ගුණාංග සියල්ලම තිබෙනවා. 2023 දී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකරන්න වෙනම නීතියක් සම්මත කරගෙන තිබෙනවා. නිශ්චිත කාරණයට නිසි ආකාරයෙන් මුහුණ නොදී දේශපාලන අවශ්‍යතාවයක් මත විපක්ෂය ක්‍රියාකිරීම ඉතාම බරපතළයි. විපක්ෂය අද මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කළ තර්ක අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කර නැහැ. නමුත් එසේ නොකර, සමාජය ඉදිරියේ අධිකරණය හෑල්ලුවට ලක්කරන එක ඉතා බරපතළ තත්වයක්. මේ ආණ්ඩුව බලයට පත් වුණේ වංචා, දූෂණ සියල්ල නතර කර, එම වැරදි කළ අය අධිකරණය ඉදිරියට පමුණුවා යුක්තිය ඉෂ්ට කරනවා යන පොරොන්දුවට මහජන අනුමැතියක් ලබා ගැනීමෙනුයි. ඒ ගමන පටන් ගත් පසුව විපක්ෂය අධිකරණයට එරෙහි මතවාදයක් ගොඩනඟන්න උත්සාහ කරන්නේ ඊට බාධා කරන්නයි. ජනතාව සියලු දෙනාම මේ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍යයි.
නීතිමය අවකාශය තුළ නඩු පැවරීමේ සුජාතභාවය කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකියි
නීතිඥ අකලංක උක්වත්ත
අද විපක්ෂයේ මාධ්‍ය හමුවට එකතු වී සිටි හිටපු පාලකයන් පසුගිය අවුරුදු 76ක කාලය තුළ ජනතාව වෙනුවෙන් එකතු වී ක්‍රියා කළේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීති විශාරදයෙක් වගේම නීති පීඨයේ මහාචාර්යවරයෙක් වන ජී.එල්. පීරිස් මහතා නීතියේ ආධිපත්‍යය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ගයක් පිළිබඳව එළියේ සමාජයේ පිරිසක් ඒකරාශී කිරීමට මූලික වී සිටියා. ඔවුන් සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් සිදුවන බවයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 41වැනි ජනාධිපති රොනල්ඩ් රේගන් එක අවස්ථාවක සඳහන් කර තිබෙන්නේ, “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුළත් වන්නේ කුමක්දැයි අපි දනිමු. එම අර්ථයේ ඵලය අපි අවබෝධ කර ගනිමු. එනම් පාලකයන්ටත් ජනතාවටත් නීතිය එකසේ අදාළය.” යනුවෙනුයි. අද එකතු වුණු කට්ටිය මේ කරුණු ඔක්කොම දන්නවා. දැනගෙන තමයි ජනතාව ඉදිරියේ ඒ බව හංගාගෙන කතා කරන්නේ. ගිය සිකුරාදා අධිකරණය තුළ නීතිමය කරුණු නිසි ආකාරයෙන් අවධානයට ලක්කළ ගරු විනිශ්චයකාරතුමිය ඒ අවස්ථාවේදී විත්තිය සඳහන් කළ සුවිශේෂී කාරණා අදාළ සැකකරුට ඇපදීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් නොවෙන බව සලකා 26දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ වගේම විපක්ෂයේ ප්‍රකාශකයන් උද්දීපනය කරන්න උත්සාහ කරන්නේ මෙම කටයුත්ත නිසි විමර්ශනයක් සිදු නොවුණු පොදු දේපළක් භාවිත නොවුණු කරුණක් බවයි.
නමුත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාව තුළ සාක්ෂිකරුවන් 32දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන, ඒවා ඒ උදෘත වගේම අදාළ ලේඛන ඇමුණුම් හැටියට සංවිධිතව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තා පදනම් කරගෙන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමා විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මේක දේශපාලන පළිගැනීමක් බව කියන්නත් පිරිසක් උත්සාහ කරනවා. ෆොන්සේකා මහත්තයා කුදලාගෙන ගිහින් පස්සේ පරීක්ෂණ පැවැත්වූවා වගේ ක්‍රියාදාමයක් නොවෙයි මේක. විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් සකස් කර, අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අවශ්‍ය ලේඛන ලබාගෙන හෙළිදරව් කරගෙන ඇති පරිදි සහ සාක්ෂිකරුවන් ලබාදුන් ප්‍රකාශ අනුව එංගලන්ත සංචාරය කිසිසේත්ම නිල කටයුත්තක් නොවෙයි. මේ සංචාරය වෙනුවෙන් පවුම් 44,000කට වැඩි මුදලක් වියදම් කර තිබෙනවා. මේ මුදල සංසන්දනාත්මකව තේරුම් ගැනීම වැදගත්. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මාසික වැටුප පවුම් 14,000යි. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ වැටුප මසකට ඇමෙරිකානු ඩොලර් 33,000යි. ලංකාවේ ජනාධිපතිවරයාගේ දීමනා හැර මාසික වැටුප රුපියල් 97,500යි. ලංකාවේ ජනාධිපතිවරයෙක් වාර දෙකක් ධුරය දැරුවත් අවුරුදු දහයකදී ලබන්නේ රුපියල් එක්කෝටි දාහත්ලක්ෂයකට ආසන්න මුදලක්. ඒ අනුව බැලුවාම දවස් දෙකක මේ සංචාරය සඳහා වියදම ඊටත් වැඩිය විශාලයි.
අපරාධමය නඩුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙයයි. මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරියට ‘වොටර්ස් ඒජ්’ නඩුව මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවරා තිබුණා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට දින 52 කුමන්ත්‍රණ නඩුව, පාස්කු දා ප්‍රහාරය පිළිබඳ නඩුව ඇතුළු මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂට ආර්ථිකය බංකොලොත් කිරීම පිළිබඳව මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබුණා. අපරාධමය නඩුවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයෙකු අධිකරණයට ඉදිරියට පැමිණ වූ පළමු අවස්ථාව මෙයයි. නීතිමය අවකාශය තුළ මෙම නඩුව පැවරීම සම්බන්ධයෙන් පවතින සුජාතභාවය කිසිවෙකුටත් ප්‍රශ්න කරන්න බැහැ. අධිකරණයෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හැර එයින් පිටත සිදුකරන සියලුම ප්‍රකාශයන් අධිකරණයට අපහාස කිරීමක් දක්වා ඉදිරියට යන්න පුළුවන්. එය මහජන කැළඹීමක් දක්වා වර්ධනය කළහොත් තත්වය තවත් බරපතළ වෙනවා. නීතිපතිතුමා මෙහිදී මැදිහත් වන්නේ දණ්ඩ නීති සංග්‍රහය හෝ වෙන ඕනෑම නීතිමය ප්‍රතිපාදනයක් මත මේ රටේ ජනතාව වෙනුවෙන්. නීතිය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන බව පේන්නේ දැන් තමයි. පොදු දේපළ පනත 1982 සිට මේ රටේ සිවිල් ජනතාවට විරුද්ධව දිගින් දිගටම යොදා ගත් හැටි අපි දැක්කා. ඒ නිසා අපි ජනතාවට අවධාරණය කරන්නේ සමස්ත සමාජයම වෙනස් කිරීමේදී තමනුත් වෙනස් විය යුතු බවයි. මේ දක්වා නීතිය උඩම ස්ථරයට ක්‍රියාත්මක නොවී පහළ ස්ථරයට පමණක් ක්‍රියාත්මක වුණා. ඒ තත්වය වෙනස් වී ඇති බව සුබවාදීව තේරුම් ගෙන වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා, නීතිය ක්‍රියාත්මක කෙරෙන බවට අවධාරණය කර ගැනීම වැදගත්. පසුගිය ජාතික මැතිවරණ දෙකේදී ජනතාව බලය ලබාදී තිබෙන්නේ රට සියලුම අංශවලින් ප්‍රගතිය කරා ගෙනයන්නයි.
අධිකරණයට කරුණු දැක්වීම වෙනුවට ජනතාව ඇවිස්සීමට විපක්ෂය අසාර්ථක කුමන්ත්‍රණයක යෙදී සිටිනවා
නීතිඥ හේමක සේනානායක
ඉහළ ස්ථරවල සිටි තෝරු මෝරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන ආකාරය මේ රටේ ජනතාව පළමු වර අත්දකිනවා. මේ ආණ්ඩුවට පහර දෙන්න පටන් ගන්නේ කොටුව, ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් ලබාදුන් නියෝගයක් පදනම් කර ගෙනයි. ගරු විනිසුරුතුමෙකු ලබාදුන් තීන්දුවක් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න බැරි නම් ඉහළ අධිකරණවලට යාමේ හැකියාව තිබෙනවා. නමුත් විපක්ෂය අලුත් තත්වයක් මතුකරමින් මාධ්‍ය ඉදිරියේ විවිධ කරුණු කියන්න පටන්ගෙන තිබෙනවා. අධිකරණය ඉදිරියේ හැර අනෙක් සියලුම තැන්වල නීතිය අර්ථ නිරූපණය කරන්න ආචාර්ය මහාචාර්යවරු පවා ඉදිරිපත් වී සිටිනවා. ඔවුන් මේ කරුණු ඉදිරිපත් කරන්නේ කාට විරුද්ධවද? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්තරා අවස්ථාවකදී “අධිකරණ ම්ලේච්ඡත්වය” කියලා අදහසක් ඉදිරිපත් කරනවා. හිරිකිතයක් නැතිව මේ රටේ උත්තරීතර නීතිය සහ ව්‍යවස්ථාව කඩකරමින් ඔය වැනි ප්‍රකාශ සිදුකළා. අධිකරණ තීන්දු නොසලකා පුංචි ඡන්දය කල්දැම්මා. පුංචි ඡන්දයට මුදල් වෙන්නොකිරීම වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළ අවස්ථාවේ එම ගරු විනිසුරුතුමන්ලා තිදෙනාම පාර්ලිමේන්තු කමිටුවක් හමුවට ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ කළ පිරිසක් අද මේ ආකාරයට මාධ්‍ය හමු පවත්වනවා. පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට විනිසුරුවරුන් කැඳවීම දේශපාලනික සියදිවි නසා ගැනීමක් බව පසුව ඔවුන්ට තේරී ඒ වැඩේ නවත්වා ගත්තා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බොහෝ දෙනෙකු රඳවා තබාගෙන සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලය තුළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයන බව සඳහන් කරමින් චෞර වළල්ල බේරා ගන්න කොමිසමක් පත් කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි විශිෂ්ටම නීතිඥවරු පවා මේ කොමිසම හමුවේ වැරදිකරුවන් කරන්න උත්සාහ කළ එකල ආණ්ඩුව සමග සිටි පිරිසක් අද මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා. අධිකරණය විහිළුවට ලක්කර, අධිකරණයට කෑගසා, අධිකරණයට ගල්ගසා, විනිසුරුතුමන්ලාට බලපෑම් කළ කණ්ඩායමකට රිදෙන එක සාධාරණයි. වත්මන් ආණ්ඩුව යටතේ විනිසුරුවරයෙකුට අබමල් රේණුවක තරම්වත් බලපෑම් සිදුකර නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත්තාත් එක්කම දෙබරයට ගල්ගැසුවා වගේ වුණා. ඉහළටම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනෙක් සියල්ලන්ටමත් ඒ නීතිය ක්‍රියාත්මක වෙන බව තේරුම් ගත් කණ්ඩායම එකට එකතු වී සිටිනවා. කොටුව ගරු මහේස්ත්‍රාත්තුමියට පෞද්ගලිකව පහර එල්ල කිරීමට පටන්ගෙන තිබෙනවා. නීතිය පිළිබඳව අධිකරණය ඉදිරියට ඇවිත් කරුණු කියනවා වෙනුවට රටේ ජනතාව ඇවිස්සීම සඳහා ඉතාමත්ම අසාර්ථක කුමන්ත්‍රණයක මේ අය යෙදී සිටිනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට අපි මේ ගැන ඉතාමත් සුපරීක්ෂාවෙන් පසුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා වරදක් කර නැත්නම් අධිකරණයෙන් ඔහුව නිදහස් කරයි. නමුත් විපක්ෂයේ කණ්ඩායම් මේ උත්සාහ කරන්නේ කලින් තිබුණු ම්ලේච්ඡ යුගයට නැවතත් ගෙන යන්නයි. අපි අවධාරණය කරන්නේ නීතිය පිළිබඳව තීරණය කිරීම අධිකරණයට බාර දෙන ලෙසයි.
නීතියේ ආධිපත්‍යය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම ලංකාවටත් වලංගුයි
නීතිඥ ජයන්ත දෙහිඅංගගේ
විපක්ෂයේ විවිධ කණ්ඩායම් ජනතාව නොමග යවන්න සහ ප්‍රකෝප කරන්න විවිධ ප්‍රකාශ කරමින් සිටින බව පේන්න තිබෙනවා. ජනතාව මේ දක්වා ප්‍රශ්න කළේ රටේ එක පිරිසක් නීතියට ඉහළින් සිටින්නේ ඇයි කියලයි. විශේෂයෙන්ම 2022 වසරේ මහජනතාව මේ පිළිබඳව විරෝධතා පවත්වමින් නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලක් අනුව දීර්ඝ විමර්ශන ක්‍රියාවලියක් අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන මේ අත්අඩංගුවට ගැනීම සිදු කළා. ඔහුට ඇප දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ අධිකරණයට ඉදිරිපත් වෙන කරුණු අනුව මිස ඔහු හිටපු ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ඇමතිවරයෙක් වශයෙන් සලකා බැලීමෙන් නොවේ.
මේ ආණ්ඩුවට ජනවරමක් ලබාදී තිබෙන්නේ නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක කරන අධිකරණ ක්‍රියාවලියක් ශක්තිමත් කරන්නයි. මිනිසුන්ගේ ඉල්ලීම ක්‍රියාවට නැගෙමින් තිබෙන අතර, හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් කලබල වී සිටින පිරිස කවුද කියා බැලීම අවශ්‍යයි. ලෝකයේ රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගැනීම් පමණක් නොව අධිකරණයෙන් දඬුවම් පැමිණවීම් පවා සිදුකර තිබෙනවා. නීතියේ ආධිපත්‍යය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන එක ලංකාවට වලංගු වන්නේ නැද්ද? විපක්ෂයේ අය එකතුවී සිටියේ ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක්’ බව කියමින් සිටිනවා. විපක්ෂයට මේ සම්බන්ධයෙන් හරිහමන් මාතෘකාවක්වත් සොයා ගන්න නොහැකි වී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 දී රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහකර මහින්ද රාජපක්ෂ පත්කිරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළා. ඒ අවස්ථාවේදී ඒ ක්‍රියාවලියට විරුද්ධව අධිකරණයට ගිය අය අද මොනවාද කරන්නේ. අපි ජනතාවට කියන්නේ නීතිය හැමදෙනාටම එක හා සමාන බව භාවිතයෙන් ඔප්පු කිරීම පිළිබඳව හොඳින් තේරුම් ගන්න කියලයි.