Hot News

ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයෙන් අඩු පිරිවැයකින් ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම්

ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම රජයේ රෝහලකින් නොමිලයේ සැපයෙන බව තවමත් බොහෝ දෙනෙකු දන්නේ නැහැ – පිළිකා…

Hot News

සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැහැ

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි…

මා වෙනුවෙන් පෙනී සිටි සියළු දෙනාටම ස්තූතියි – රනිල්

තමා වෙනුවෙන් පෙනී සිටි අයට ස්තුතිවන්ත වෙමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (01) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඒ වෙනුවෙන් පෙනී සිටී සමාජ මාධ්‍යවලට ස්තූතිවන්ත වන බවයි සිය ප්‍රකාශය මඟින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

එමෙන්ම පසු අවස්ථාවකදී එම සියලු පාර්ශව හමුවීමට තමා අදහස් කරන බවද ඔහු පවසා සිටියා.

ඉෂාරා සෙව්වන්දි රටින් පළා ගිහින්ද?

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි නම කියැවුණු ඉෂාරා සෙව්වන්දි නම් තැනැත්තිය රටින් පලාගොස් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු අනාවරණය වී තිබේ.

ඒ පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන පසුව මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුගියදා අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු පිරිස මේ වනවිට පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.

ඔවුන් අතරින් මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා මේ වනවිට රඳවා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය.

ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ කොළඹ වරාය පොලිසිය තුළ රැඳවුම් භාරයේ පසු වේ.

එම පිරිසකගෙන් මෙතෙක් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ද කරුණු රැසක් අනාවරණය වී ඇත.

එහිදී ඔවුන් අනාවරණය කර ඇත්තේ අදාළ ඝාතනයට ආධාර අනුබලදුන් ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව එම ඝාතන සිදුවීමෙන් පසු විදේශ රටකට පලාගිය බවය.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූ වූ අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 28ක් ද ඉන්දුනීසියානු පොලිසිය භාරයට ගෙන තිබේ.

පසුව අදාළ ජංගම දුරකථන ශ්‍රී ලංකා පොලිසියට භාරදීමට ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති අතර ඒවා භාවිතයෙන් ලබාගත් දුරකතන ඇමතුම් පිළිබඳව මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
 

සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කෙරේ

සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද යාපනයේ 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.

යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යාවශ්‍ය පහසුකම්, ශිතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර ඇත.

ධීවර වරායේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවෙන් පසුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවකටද ජනාධිපතිවරයා එක් වනු ඇත.

මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනු ඇත.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය. උතුරු පළාතෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින හෙයින්, වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ.

මේ අතර, යාපනය පුස්තකාලයේ ඊ-පුස්තකාල (E Library) වැඩසටහනද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, මේ සමඟ ලොව ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයකුට යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව උදා වෙයි.

යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, ඉන් අනතුරුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහාද ජනාධිපතිවරයා එක්වනු ඇත.

ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයෙන් අඩු පිරිවැයකින් ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම්

ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම රජයේ රෝහලකින් නොමිලයේ සැපයෙන බව තවමත් බොහෝ දෙනෙකු දන්නේ නැහැ – පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ ක්‍රිසන්ති විතාරණ

ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය විසින් රුපියල් මිලියන 200ක් වැය කර රුපියල් බිලියන 2ක් වටිනා ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදු කර තිබෙන බව මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා පැවසීය.

2016 වසරේ දෙසැම්බර් මාසයේ දී මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීම ආරම්භ කළ බවත් 2025 වසරේ අගෝස්තු මාසය වන විට රෝගීන් 294 දෙනෙකුට සාර්ථක ලෙස ඇට මිදුළු බද්ධ කිරීම් සිදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා කොළඹදී පැවැති ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනයේ (SLCO)  22 වැනි සංවත්සරයේදී වෛද්‍ය කුමාර් වීරසේකර සමාරම්භක දේශනය පවත්වමිනි.

ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනයේ (SLCO)  22 වැනි සංවත්සරයට සමගාමීව අධ්‍යයන සැසිමාලාව පසුගිය 22 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනය විසින් මෙවර වෛද්‍ය කුමාර් වීරසේකර දේශනය සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ (BMTU) සාර්ථකත්වය හඳුනා ගෙන තිබිණි.

ඒ අනුව ‘ජීවිතයේ දෙවන අවස්ථාවක්: ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීම’ මැයෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මෙම දේශනය පවත්වනු ලැබීය.

මෙම ඒකකය ස්ථාපිත කිරීමට පෙර රුපියල් ලක්ෂ 80-100ක් වැනි විශාල මුදලක් වැය කර විදෙස් රටකට යාම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවත් ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම නොමිලයේ රජයේ රෝහලකින් සැපයෙන බව තවමත් බොහෝ දෙනෙකු නොදන්නා බවත් සිය දේශනය පවත්වමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

2016 වසර අවසානයේ  සිට 2025 වසරේ මැද භාගය වන විට රුපියල් මිලියන 200ක් වැය කර රුපියල් බිලියන 2ක් වටිනා ඇට මිදුළු සැත්කම් මහරගම අපේක්ෂා රෝහලේදී  සිදු කර තිබෙන බවද 2025 වසරේ අගෝස්තු මාසය වන විට රෝගීන් 294 දෙනෙකුට සාර්ථක ලෙස ඇට මිදුළු බද්ධ කිරීම් සිදු කර ඇති බවද ඒ මහතා අනාවරණය කළේය.

ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දුන් ඉන්ධන හිඟය, ඖෂධ හිඟය පවා නොතකා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය අඛණ්ඩව එම කටයුතු සිදු කළ බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මේ වන විට දායක ඇට මිදුළු බද්ධය (allogeneic stem cell transplant) ද ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ අනුව සිව්වන දායක ඇට මිදුළු බද්ධය සිදු කිරීමට මේ දිනවල සැලසුම් කරමින් සිටින බවද ඔහු අනාවරණය කළේය.

2023 වසරේදී 49 ලෙස ඇටමිදුළු බද්ධ කිරීම් වැඩිම සංඛ්‍යාවක් සිදු කළද, විවිධ හේතූන් මත 2024 දී එම ප්‍රමාණයට ළඟා වීමට නොහැකි වූ බව පෙන්වා දුන් වෛද්‍යවරයා ඇට මිදුළු බද්ධය සඳහා වන පොරොත්තු ලේඛනය මේ වන විට 2027 ජනවාරි මාසයය දක්වා දීර්ඝ වී ඇති බව අනාවරණය කළේය.

ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය (BMTU) සඳහා ප්‍රමාණවත් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයක් නොමැති වීම මෙම ක්‍රියාවලියේ අඛණ්ඩතාව පවත්වා ගැනීමට සෘජුවම බලපාන සාධකයක් බව සඳහන් කළේය. විශේෂයෙන් මේ වන විට එම ඒකකයට අනුයුක්තව ඇත්තේ ඊට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් බව ඔහු අවධාරණය කළේය.

පුහුණුව ලත් වෛද්‍යවරු සාමාන්‍ය මාරුවීම් පටිපාටිය යටතේ ස්ථාන මාරු ලැබීමත්, පත්ව එන වෛද්‍යවරු නැවත පුහුණු කිරීමත් නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වන ගැටළු වන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ඇට මිදුළු ගබඩා කරන බෑග් සහ Dimethyl Sulfoxide (DMSO) හිගය ,දායක ඇට මිදුළු බද්ධය සඳහා ගැලපෙන පරිත්‍යාගශීලීන් නොමැතිවීමද මුහුණ දීමට සිදු වී ඇති ප්‍රධාන ගැටළු අතර වන බව වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා පෙන්වා දුන්නේය.

එසේම මිළ අධික අත්‍යවශ්‍ය කිමෝතෙරපි ඖෂධ රජය හරහා නොලැබෙන බැවින් පරිත්‍යාගශීලීන් හරහා ඒවා ලබා ගැනීමේ කාර්යයද  තමන් ඇතුළු  කණ්ඩායමට පැවරී ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම අපහසුතා නොවන්නට අවම වශයෙන් වසරකට ඇට මිදුළු බද්ධ කිරීම් 55ක් පමණ සිදු කිරීමට හැකියාව පවතින බවත් එසේ වුවහොත් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින සමහර රෝගීන්ට අවාසනාවන්ත ලෙස මිය යාමට සිදු නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 283කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා භූමිතෙල් මිල නොවෙනස්ව පවතිනු ඇත.

රාජ්‍ය ආයතනවලට නව පණක් දීමට ‘සෙයිරි සතිය’ අද සිට

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’  ජාතික වැඩසටහනෙ අද(01) ඇරඹේ.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි ඉටු කිරීම සඳහා සාමකාමී, සෞඛ්‍යාරක්ෂිත සහ මනා ලෙස සංවිධානය වූ වැඩ පරිසරයක් නිර්මාණය කිරීමයි. ඵලදායීතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අයත් ‘සෙයිරි’ යන්නෙන්, ආයතනයකට අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ බැහැර කිරීම අදහස් කෙරේ. ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ සීමිත ඉඩකඩ ප්‍රශස්ත ලෙස භාවිත කරමින්, ගොඩගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම මෙහිදී ප්‍රමුඛ කාර්යයක් වනු ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා ප්‍රධානීන්ට නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව, මෙම සතිය තුළ සෑම දිනකම උදෑසන කාලයෙන් පැය දෙකක් ආයතන පිරිසිදු කිරීම සහ සංවිධානය කිරීම සඳහා යෙදවිය යුතුය. ගොඩනැගිලි ඇතුළත මෙන්ම බාහිර පරිසරය, ආයතනයට පිවිසෙන මාර්ග සහ මාර්ග දෙපස අලංකාරව පවත්වා ගැනීමටත්, විශේෂයෙන් ආබාධිත ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් මෙහිදී අවධානය යොමු කෙරේ.
තවද, භාවිතයට ගත නොහැකි ඉන්වෙන්ට්‍රි භාණ්ඩ, පැරණි මෝටර් වාහන සහ ලිපිගොනු නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කරන ලෙසට ද උපදෙස් දී ඇත.
මෙම ‘සෙයිරි සතිය’ එක්වරක් පමණක් ක්‍රියාත්මක කර නතර නොකර, එමගින් ඇතිකරන සංවිධිත පරිසරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්ථිර ක්‍රමවේදයක් සකස් කර, ඒ සඳහා නිලධාරියෙකුට වගකීම් පවරන ලෙසද සියලුම ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැහැ

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණ.

ප්‍රභල භූ කම්පනයෙන් ඇෆ්ගනිස්තානයේ 20ක් මියයයි 100කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද CID යට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (01) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ අනුව ඒ මහතාට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර තිබේ.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ ‍වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වී ඇත්තේ නිල ආරාධනයක් අනුව බවත් එය යළිත් වරක් තහවුරු කර ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව අගෝස්තු 26 වැනිදා ඒ මහතා ඇප මත මුදා හැරිණි.