අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු සයනයිඩ් යොදා ඝාතනය කිරීමේ සැලසුමක් බන්ධනාගාර නිලධාරීන් විසින් ව්‍යර්ථ කර තිබේ. මෙම ඝාතන සැලසුම සඳහා සයනයිඩ් ළඟ තබාගෙන සිටි එම බන්ධනාගාරයේම තවත් රැඳවියෙකු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බන්ධනාගාර බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව, පෙරේදා (18) දින සැකකාර රැඳවියා රඳවා සිටි සිර මැදිරිය පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ සයනයිඩ් පැකට්ටුවක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ජගත් වීරසිංහ මහතා තහවුරු කළේය. එම විෂ රසායනයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් සැකකරු විසින් කටුස්සෙකුට එය ශරීරගත කර ඇති බවටද තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව මියගිය කටුස්සෙකුගේ සිරුරක්ද සිරකුටිය ආසන්නයේ තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් රැඳවියාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් මෙම ඝාතන සැලසුම පිටුපස ඇති තොරතුරු රැසක් හෙළිදරව් කර තිබේ. ‘කුඩු සළිඳු’ නැමැත්තාගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් අනුව තමන් මෙම ඝාතනය සිදු කිරීමට සූදානම් වූ බව සැකකරු පාපොච්චාරණය කර ඇත.
මෙම සයනයිඩ් තොගය බන්ධනාගාරය තුළට රැගෙනවිත් තමා වෙත ලබා දුන්නේ මෑතකදී ඇප මත නිදහස්ව ගිය ‘විමුක්ති ශ්‍රීනාත්’ හෙවත් ‘උඩවලව පොඩී’ නමැති වෙනත් රැඳවියෙකු බවද සැකකරු ප්‍රකාශ කර තිබේ. ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවකට ඇප ලබා දීමට නොහැකිව පසුගිය 6 වනදා රක්ෂිත බන්ධනාගාර ගතවූ එම පුද්ගලයා, පසුගිය 13 වනදා ඇප මත නිදහස්ව ගොස් ඇති බවට විමර්ශනවලදී තහවුරු වී ඇත.
මෙම ඝාතන කුමන්ත්‍රණය හෙළිවීමත් සමඟ ඉලක්ක වූ හිටපු කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව වහාම පියවර ගෙන තිබේ. සිදුවීම සම්බන්ධයෙන් පුළුල් අභ්‍යන්තර විමර්ශනයක්ද ආරම්භ කර ඇති අතර, මියගිය කටුස්සාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා අඟුණුකොළපැලැස්ස පොලිසිය වෙත භාර දී ඇත.