පෙට්‍රෝලියම් එකේ රැකියා මින්පසු සුදුසුකම් මත පමණයි

 ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සුදුසුකම් මත පමණක් සිදුකරන බවත්, ඒ සඳහා කිසිදු දේශපාලන බලපෑමකට හෝ හිතවත්කමකට ඉඩ නොදෙන බවත් එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අවධාරණය කරයි.

රටේ ඕනෑම සුදුසුකම් ලත් පුරවැසියෙකුට මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැකි අතර, බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී කිසියම් අයදුම්කරුවෙකු හඳුනාගැනීමක් මත පැමිණි බවට අනාවරණය වුවහොත් ඔහුව නුසුදුස්සෙකු ලෙස සලකා ඉවත් කිරීමට පියවර ගැනේ.

තවද, රැකියා ලබාදීම සඳහා මුදල් ලබා ගැනීමක් හෝ ලබා දීමක් සිදු කර ඇති බවට තහවුරු වුවහොත්, එම ගනුදෙනුවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සභාපතිවරයා තරයේ ප්‍රකාශ කළේය.

මීට පෙර පැවති සම්ප්‍රදායට අනුව, ඉහළ නිලධාරීන්ගේ හෝ දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් මෙන්ම විශාල වශයෙන් අල්ලස් ලබාගෙන මෙම ආයතනවලට සේවකයින් බඳවාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති පසුබිමක, මෙම නව විනිවිද පෙනෙන ක්‍රමවේදය හඳුන්වා දී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *