“දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

  • සුව සේවාවේ මානව සම්පත සංවර්ධනයේ දී සියලු කාර්ය මණ්ඩල තුළ සමගිය සහ වෘත්තීමයභාවය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්පුහු වැඩ වර්ජන තුළින් පද්ධතීන් කඩාවැටීමට ලක්වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

දකුණු පළාතේ සුව විරුවන්ගේ අමිල මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන්නට යෙදුණූ “දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී ඊයේ (23) අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වසරකට වරක් පැවැත්වෙන මෙම “දක්ෂිණ සුව විරුවෝ” අභිසෙස් උළෙල මගින් දකුණු පළාතේ ලක්ෂ 27 ඉක්ම වූ ජනතාවකට රෝග නිවාරණය හා ප්‍රතිකාර සේවා සපයමින් එම ජනතාව සුවපත් කිරිම සඳහා කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය ආයතන 203 ක 9000 කට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් අධීක්ෂණයට ලක් කරමින් තෝරාගත් විශිෂ්ටයින්ට සහ විශිෂ්ට සෞඛ්‍ය ආයතන සඳහා සම්මාන සහ සහතික පත්‍ර පිරිනමනු ලබයි. 2011 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන මෙවර පැවැත්වූයේ 11 වන වරටය.

සෞඛ්‍ය සේවාවේ ඉදිරි ගමන වෙනුවෙන් සෞඛ්‍ය සේවාවන් සැපයීමට අමතරව සුව විරුවන් හඳුනාගෙන ඇගයීමට ලක් කිරිම අතිශය වටිනා කර්තව්‍යයක් බව මෙහිදී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සියවස් ගණනාවක් තිස්සේ මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ සෞඛ්‍ය වෘත්තිකයි‍න්ගේ කැපවීමේ සහ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ පිළිගත් සෞඛ්‍ය සේවාවක් බවට මෙරට සෞඛ්‍ය සේවාව පත්ව ඇති බව ද පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය සේවාව නගා සිටුවීමේ දී බිලියන ගණනින් භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ ද වැගත්ම සම්පත මානව සම්පත බව පෙන්වා දුන් අමාත්‍යවරයා මානව සම්පත සංවර්ධනය කිරීමේ දි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනා අතර සමගිය සහ වෘත්තිමයභාවය යන  ප්‍රධාන කරුණු 02 ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. මූලික සරල කරුණු, සාකච්ඡා කර විසදාගත හැකි කරුණු හෝ දේශපාලන අවශ්‍යතාව මත වෘත්තිය සමිති සිදු කරන වැඩවර්ජන තුළින් පද්ධතීන් කඩා වැටිමට ලක්වන බව ද කාර්ය මණ්ඩලවල වෘත්තියමයභාවය ඉහළ නැංවීමට රජය නිරතුරුව කටයුතු කරන බව ද අවධාරණය කරන ලදි.

මෙරට සෞඛ්‍ය සේවාව එක් එක් කාලයන් හි පැවැති අභියෝග ඉතා හොදින් ජයග්‍රහණය කර ඇති බවත්, සෞඛ්‍ය සේවාවේ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව සෘජුව ආඩම්බරයෙන් කථා කළ හැකි වුව ද වයස්ගත ජනගහණය, බෝනොවන රෝග, මානසික සෞඛ්‍ය, පෝෂණය වැනි ඉදිරි අභියෝග හදුනා ගැනීම ඉතා වැදගත් වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා පුරවැසියාගේ වගකීම රජය විසින් බාරගන්නා විධිමත් ක්‍රමවේදයක පරිවර්ථනයක් සඳහා සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සහාය ලබාගැනීමට අදහස් කරන බවද පෙන්වා දෙන ලදි. මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ වඩා වේගවත් ශක්තිමක් පරිවර්ථනයක් සිදු කිරිම ඉතා වැදගත් බව ද සෞඛ්‍ය හා ජනමාධය අමාතය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුටත් පැවසීය.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් දකුණු පළාතේ “බී” කාණ්ඩයේ විශිෂ්ටතම රෝහල ලෙස වලස්මුල්ල මූලික රෝහලටත්, “ඒ” කාණ්ඩයේ විශිෂ්ටතම රෝහල ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මුලික රෝහලටත්, දකුණු පළාතේ විශිෂ්ටතම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  කාර්යාලය ලෙස හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  කාර්යාලයටත් හිමි සමරු තිළිණ, සම්මාන සහ සහතික පත්‍ර පිරිනමන ලදි.

මව් සෞඛ්‍ය සමාජ, පාසල් දන්ත චිකිස්සාගාර කාණ්ඩය, වැඩිහිටි දන්ත සායන කාණ්ඩය, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක කාණ්ඩය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාණ්ඩය, විශේෂිත ව්‍යාපාර ඒකක කාණ්ඩය, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල කාණ්ඩය, දිස්ත්‍රික් රෝහල් ඒ,බී සහ සී කාණ්ඩය, මුලික රෝහල් ඒ සහ බී කාණ්ඩය වශයෙන් අදියර 09 ක් යටතේ පළමු දෙවන සහ තෙවන ස්ථාන වශයෙන්  සමරු තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරිමට මෙහිදී කටයුතු කෙරිණි.

 “දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල දකුණු පළාත් රෝහල් කාර්ය මණ්ඩල විසින් ඉදිරිපත් කරන ලද කලා විශේෂාංගයන්ගෙන් ද අලංකාරවත් විය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පී.ඩී විමලසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරින්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් ක්‍රීෂාන්ත ඩබ්.මහේන්ද්‍ර, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ ධර්මසිරි, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මල්කාන්ති මැදිවක, හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දේවිකා පටබැදිගේ, හිටපු දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වත්මන් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම් රංග, දකුණු පළාතේ රෝහල් අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු දකුණු පළාතේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැසක් එක්ව සිටියහ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *