සියලු සීමාවන් සහ වෙනස්කම් දෙවැනි කොට ක්‍රීඩාවෙන් ජනතාව එක් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
දිගු කාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක්’ බවට පත් කිරීම පිළිබඳ සැලසුමද මෙහිදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානවලින්ද සමන්විත වීමට නියමිතයි.
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර හතරක් යටතේ ඉදි කිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදි කරයි.
දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටියද, තෙවැනි අදියර යටතේ සෙසු ප්‍රේක්ෂකාගාර ඉදිකිරීමටද, අවසන් අදියරේදී විදුලි අලෝක පද්ධතිය ස්ථාපිත කිරීමට නියමිතයි.
යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති භූමියක ඉදි කෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 40,000කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹීමේ අවස්ථාව හිමි වනවා.
එසේම ජාත්‍යන්තර මට්ටමේ දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිවන පස්වන ක්‍රීඩාංගණය ලෙසද, ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි හත් වන ක්‍රීඩාංගණය ලෙද යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉතිහාස ගත වීමට නියමිතයි.
අප් සවුන්ඩ් – ජනපති
මේ අතර යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපතිවරයා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුනා.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ජනාධිපතිවරයා අද දෙවැනි දිනටත් උතුරේ සංචාරයේ නිරත වනවා.
එහිදී නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවීමට නියමිතයි.
අද උදෑසන මුලතිව් ප්‍රදේශයට පැමිණීමට නියමිත අතර
එහිදී ජනාධිපතිවරාය ලෝක පොල් දින සැමරුමට සමගාමීව සිදු කර කප්තුරු සවිය ජාතික වැඩසටහනට එක්වනවා.
අනතුරුව ජනාධිපතිවරයා මුලතිව්, වට්ටුවාකල් පාලමේ ඉදිකිරී ආරම්භ කිරීමේ අවස්ථාවට ද එක්වීමට නියමිතයි.