දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක්

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැකසහිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම,
නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක ඉදිරිපත් කරම්න්
අසාධාරණ ලෙස ක්ෂණික වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම වසර ආරම්භයේ දී ම දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909 සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇත. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරු 106 දෙනෙකු ඇතුළත්‍ ය.

මාස කිහිපයකට පෙර මෙම අනුමැතීන් ලබා දී තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව හා ගැටළුකාරී තත්වයන් මත අමාත්‍යංශය, අමාත්‍යවරුන්ගේ මට්ටමින් මැදිහත් වී සාකච්ඡා පවත්වා තිබියදී දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව මේ වන තෙක් කිසිදු නව බඳවාගැනීමක් සිදු කිරීමට අපොහොසත් වී ඇත.

එසේම වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ඇතුළු කරුණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇති අතර එය 2025.05.07 වන දින දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
එළඹෙන සතියේ දී ඒවා ද නියමිත ලෙස රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බව දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුවත්කර ඇත.

මෙම ඉල්ලීම් වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබාදී තිබියදී, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මඟින් විසඳාගැනීම යනාදිය පසෙක ලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යංශ ලෙස අප්‍රසාදය පළ කර බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

සිය ඉල්ලීම් සඳහා ලබන සතිය ඇතුළත විසඳුම් ලබාදීමට පියවර නොගත හොත් අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයවීමට නියමිතව තිබූ සියලුම තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *