සීමිත පිරිසක් සදහා ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දීමේ කාර්යක්ෂම වැඩපිලිවෙලක් බවට පත්කිරීමේ තවත් පියවරක් ලෙස ඊට අදාල නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
එහි එක් පියවරක් ලෙස උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය , මුලතිව්, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම්වරු හා විෂ්‍යානුබද්ධ නිලධාරීන් සදහා පුහුණු වැඩමුලුවක් 21 වෙනි දින කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
පුහුණු වැඩසටහන මගින් උතුරු පළාතේ ජනාධිපති අරමුදලෙන් ලැබෙන ප්‍රතිලාභ ඉහල දැමීමත් ඔවුන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම සහ මාර්ගගත සේවාව හදුන්වා දීමත් තුලින් කඩිනම් සේවා සැපයීමට පුහුණුව හා දැනුම ලබා දීම මෙම වැඩමුලුවේ අරමුණු වේ.
ජනාධිපති අරමුදලේ කාර්යන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමග ඊට ලැබෙන වෛද්‍යාධාර අයදුම්පත් සංඛ්‍යාව ඉහල ගොස් ඇත.
ඉදිරියේදී පුහුණු වැඩසටහන් සෙසු ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපති අරමුදලෙන් රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දීම සදහා කටයුතු කරන බවටයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.