ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය රිචර්ඩ් මාල්ස් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී ඊයේ (03) පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර ගමනක් ආරම්භ කර ඇති බව සදහන් කල ජනාධිපතිවරයා
දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්චා කරන ලදී.
පසුගිය සමයේ සමුද්‍රීය ආරක්ෂණය, නීති විරෝධී වෙළඳාම, මිනිස් ජාවාරම් , ත්‍රස්තවාදය හා ආයුධ වෙළඳාම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ලබා දුන් සහාය ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් කෙරිණි.
සංචාරක, අයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව ඉතා සුරක්ෂිත රටක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ අතර පවතින වසර 70 ක ආර්ථික සහ දේශපාලන සබඳතා පිළිබඳ සිහිපත් කළ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රජය සමඟ සමීප සහයෝගයකින් කටයුතු කිරීම සිය රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අල්ලස, දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජයේ ප්‍රසංශාවට ලක් කරන බවයි.
වෙළඳ, ආර්ථික,දේශපාලනික, සංචාරක හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.