පළමුදින ඡන්ද විමසීම අවසන් – කළු දුමාරයක් පිටවෙයි

267 වන පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා සිස්ටයින් දේවස්ථානයේ දී ඊයේ (මැයි 07) දින පැවති පළමු වටයේ ඡන්ද විමසීම අවසන් වුනා. ඊයේ සිස්ටයින් දේවස්ථාන චිමිනියෙන් කළු දුමාරය නැගී ගිය අතර එයින් පෙන්නුම් කලේ නව පාප්වරයෙකු තේරී පත්වී නොමැති බවයි. කළු දුමාරය දිස්වන විට ශාන්ත පීතර චතුරස්‍රයේ 30,000 කට අධික පිරිසක් රැස්ව සිටියා. ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අද (බ්‍රහස්පතින්දා) උදෑසන නැවත ආරම්භ වීමට නියමිතයි.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ද කතෝලික පල්ලියේ 267 වන පාප් වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඊයේ දින එක් වුනා. කාදිනල්වරුන්ගෙන් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්නා තෙක් ඡන්දය ප්‍රකාශ කිරීම දිගටම පවතිනු ඇත. දිනය අවසන් වන විට නව පාප් වහන්සේ තෝරා නොගතහොත් ක්‍රියාවලිය ඉදිරිදෙන දක්වා ක්‍රියාත්මක වෙයි. නව පාප් වහන්සේ තේරී පත්වීම ප්‍රකාශ වන්නේ සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරයක් පිටවීමෙන්. ඒත් සමගම ශාන්ත පීතර බැසිලිකාවේ සීනු නාද කරන අතර එය නව නායකයා තෝරා පත් කර ගත් බව සංඥා කරයි.

නව පාප්වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා කාදිනල්වරුන් 133 දෙනෙකු මෙවර සුදුසුකම් ලබා තිබේ. පළමු ඡන්ද දිනය අවසන් වීමෙන් පසුව දිනකට හතර වතාවක් උදෑසන දෙවරක් සහ දහවල් දෙවරක් ඡන්දය ප්‍රකාශ කිරීමට කාදිනල්වරුන් එක්වෙයි. 

1981 සිට මෙවැනි ඡන්ද විමසීමක් දින හතරකට වඩා නොපැවතුනු අතර ඊයේ ආරම්භ වුණු නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීම දිගු හා ඓතිහාසික ක්‍රියාවලියක ආරම්භය සනිටුහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *