ගාසා තීරයේ අවන්හලකට ඊශ්‍රායල ප්‍රහාරයක්

ගාසා හි වරාය අසල අවන්හලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

සඳුදා රාත්‍රියේ දී අල්-ෂිෆා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් අබු සිල්මියා පැවසුවේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් 75 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කැෆේ එකට සහ අවට ප්‍රදේශයට පුළුල් හානියක් මෙන්ම එම ස්ථානයෙන් ඝන දුමාරයක් නැඟී එන ආකාරය ද දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් සහ නිර්වින්දන ද්‍රව්‍ය හිඟයක් පවතින බව ද ගාසා රෝහල් නිලධාරීන් පවසනවා.  

“කාමර සහ රෝහල් ඇඳන් නොමැති නිසා අපි තුවාලකරුවන්ට රෝහල් බිමේම ප්‍රතිකාර කරනවා” රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මියගිය අය අතර නිදහස් මාධ්‍යවේදියෙකු වන ඉස්මයිල් අබු හටබ් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හමාස් පාලනය යටතේ පවතින රජයේ මාධ්‍ය කාර්යාලය පැවසුවේ ඔහුගේ මරණයත් සමඟ 2023 ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගවලින් මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 228 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *