
චීනයේ පැවති අධ්‍යාපන චාරිකාවක් සඳහා, චීන ජනරජයේ අනුග්‍රහයෙන් සති දෙකක කාලයක් සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමක් සහභාගී විය.
මෙම සංචාරයේ දී ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුවේ නියෝජ්‍ය සභාපති සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති ගරු වැන්ග් කේ මහතා (Wang Ke), ලියොනින් පළාතේ චෙන් යන්ග් හි උප නගරාධිපති ලියු කෙබින් (Liu Kebin ), ජියෝන්සු පළාතේ උප ආණ්ඩුකාර ෂෙන් සොන්ග්වෙයි (Shen Songwei ) යන මහත්වරුන් හමුවී සාකච්ඡා සිදු කළ අතර මෙහිදී දෙරට අතර ඇතිකර ගතහැකි ආර්ථික කටයුතු , ආයෝජන අවස්ථාවන් සහ දැනුම හුවමාරු කරගැනීමේ වැඩ සටහන් ගැන සාකච්ඡා කරන ලදී.
එමෙන්ම චීනයේ නැන්ජින්, චෙන් යැන්ග් සහ බීජිං යන නගර තුනක පිහිටා ඇති කෘතිම බුද්ධි තාක්ෂණය, රොබෝ තාක්ෂණය , කෘෂිකර්මාන්තය, වාරිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය , ඩිජිටල් තාක්ෂණය, රාජ්‍ය තොරතුරු හුවමාරුව ආදී ක්ෂේත්‍රවල ව්‍යාපාර කටයුතුවල යෙදෙන, නවීන තාක්ෂණයේ දියුණුම ආයතන ගණනාවක ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම ද මෙම අධ්‍යාපන චාරිකාවේ දී සිදු කෙරුණි.
මෙම අවස්ථාවට, චීන මහජන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩමුළුව පැවති අතර, ඒ සඳහා ආණ්ඩු පක්ෂය ,විපක්ෂය සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහභාගී වූහ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතුළු ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, අජිත් ගිහාන්, දිනිඳු සමන් හෙන්නායක, භාග්‍ය ශ්‍රී හේරත්, අබුබකර් අත්තම්බාවා, අශෝක ගුණසේන, තනුර දිසානායක යන මන්ත්‍රීවරුන් ද, සමන්මලී ගුණසිංහ, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මන්ත්‍රීවරියන් ද, විපක්ෂය නියෝජනය කරමින් කින්ස් නෙල්සන්, බී. ආරියවංශ , අනුරාධ ජයරත්න යන මන්ත්‍රීවරු ද මේ සඳහා සහභාගී වූහ.