මෙගාවොට් 10ක ධාරිතාවයකින් යුත් සූර්යශක්ති සූර්ය බලාගාරය විවෘත කිරීම මඩකළපුව වවුනතිව්හි දී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) සිදු වුණා.
වින්ඩ්ෆෝර්ස් පී.එල්.සී (Wind Force PLC) සමාගම, විදුල්ලංකා (Vidullanka) යන ලාංකීය සමාගම් රුපියල් බිලියන 2.2 ක ආයෝජනයකින් මෙම සූර්ය බලාගාරය නිම කර තිබෙනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ අක්කර 27ක භූමි භාගයක් පුරා මෙම බලාගාරය ඉදි කර ඇත.
මෙම සූර්ය බලාගාරය precast pile structures හෙවත් පෙර සවි කුළුණු මත ඉදිකිරීම් ක්‍රමවේදය අනුව ඉදිකළ ප්‍රථම සූර්යබල ව්‍යාපෘතිය වේ.
මෙහි සුවිශේෂත්වය වන්නේ කලපුවට මායිම්ව අවම කෘෂිකාර්මික හැකියාවක් පවතින හා කලින් කලට ගංවතුරට යටවන ප්‍රදේශයක එම පාරසරික තත්වයන් විශේෂයෙන් සැළකිල්ලට ගනිමින් මෙහි ඉදිකිරීම් සිදුකර තිබීමයි.
සූර්ය බලයේ ආශිර්වාදය නොමදව ලබාගනිමින් රටේ විදුලිබල අරමුණු ජයගන්න ක්‍රියාකරන බව බලාගාරය විවෘත කිරීමට එක් වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.
“සමකය ආසන්නයේ රටක් හැටියට අපට වසරේ හැම දවසකම වගේ හොදින් ඉර එළිය ලැබෙනවා. ඒ සොබා දහමේ ආශිර්වාදය නොමදව ලබාගෙන අපේ රටේ විදුලිබල අරමුණු ජයගන්න අපි රජයක් හැටියට ක්‍රියාකරනවා. පුනර්ජනනීය සහ හරිත බලශක්ති ප්‍රභවයක් හැටියට සූර්යාලෝකයේ ඇති වැදගත්කමත් ඉන් ලබාගත හැකි ඉහළ දායකත්වයත් සැළකිල්ලට අරගෙන අඛණ්ඩව සූර්යබල ක්ෂේත්‍රයේ වර්ධනය සදහා ක්‍රියාකරන බවත් විශේෂයෙන්ම දේශීය අයෝජකයින් ඒ ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම දිරිගන්වන්න ක්‍රියාකරන බවත් ප්‍රකාශ කරන්න කැමතියි.”
එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ විශේෂයෙන්ම ඉතා ඉක්මනින් වර්ධනය වන සහ දෙස් විදෙස් රැකියා අවස්ථා බහුල සූර්යබල කර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණුව සදහා මේ ප්‍රදේශයේ තරුණයන්ට අවස්ථාවක් සළසමින් ඒ සදහා අනුග්‍රහය දක්වන ලෙස පාලන අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක් ද කළා.
පාලන අධිකාරිය එම ඉල්ලීම පිළිගිනිමින් තරුණයින් 20 දෙනෙකුට එලෙස පුහුණුව ලබාදීමට එකගතාව පළ කර තිබෙනවා.