ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029 හි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ සහ ඊට අදාළ වගකීම් පැවරී ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පස්වරුවේදීයි.
‘සුපිළිපන් දේශයක් කරා’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පසුගිය අප්‍රේල් මස 09 වන දින ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ එළිදක්වන ලද අතර, 2025 වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේ,
ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් ක්‍රියාකාරකම්වලට අදාළව වගකීම් පැවරී ඇති සියලු ආයතනවල ප්‍රධානීන්, තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතු බවත්, ජාතික මෙහෙයුම් කමිටුව එම ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රගතිය වරින්වර සමාලෝචනය කළ යුතු බවයි.
මෙම ජාතික මෙහෙයුම් කමිටුව රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත වන අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කමිටුවේ සභාපති ලෙසද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්
රංග දිසානායක මහතා කමිටුවේ උප සභාපති සහ කැඳවුම්කරු ලෙසද කටයුතු කරයි.