මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව අවසන් කළ බවට සැළකෙරෙන සංදේශය ඊයේ පස්වරුවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වනු ලැබුවා. ඒ මහනුවර ජනාධිපති මන්දිරයේදී යි.
මහනුවර ජනාධිපති මන්දිරය වෙත පෙරහැරින් පැමිණි දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු සතර දේවාලවල සහ පිටිසර දේවාලවල නිළමේවරුන් සම්ප්‍රදායානුකූලව එම සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රෙය් පැළයක් ද රෝපණය කළ අතර සම්ප්‍රදාය ගරු කරමින් සමූහ ඡායාරූපයකට ද ජනාධිපතිවරයා සහ නිළමේවරුන් පෙනී සිටියා. ඇසළ පෙරහැර භාරය මගින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ද ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදු කෙරුණා.
ලෝකයේ අනාගතය අත්පත් කර ගැනීමේදී මෙන්ම ඇතැම් විට ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගැනීමේදීද අප අසමත් වී තිබෙන බවත්, අපට අනන්‍ය වූ අනාගතය සහ සංවර්ධන මාවත තෝරා ගන්නේ කෙසේද යන අභියෝගය සහ කතිකාව අද අප ඉදිරියේ තිබෙන බවත් පැවසු ජනාධිපතිවරයා අපේ අනන්‍ය ගමන සොයා ගැනීමේ දි සහ ජාතියේ අනාගතය තීරණය කිරීමේදී විද්‍යා හා තාක්ෂණයේ ජයග්‍රහණ මෙන්ම ඓතිහාසික උරුමයද උකහාගත යුතු බව පෙන්වා දුන්නා.