මිතුරියකගේ පවුම් 50ක රන් භාණ්ඩ උකස් කර වංචා කළ කාන්තාවකට පොලිසියෙන් විමර්ශන

හදිසි අවශ්‍යතාවක් සඳහා බව පවසා මිතුරියකගෙන් ඉල්ලාගත් පවුම් 50ක් පමණ බරැති රන් ආභරණ තොගයක් උකස් කර, ඉන් ලබාගත් රුපියල් ලක්ෂ 19ක මුදලක් සමඟ අතුරුදන් වූ කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම වංචාවට මුහුණ පෑ හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් සහ බැංකු ගිණුම් වාර්තා ලබාගැනීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පොලිසියට නියෝගයක් ලැබී තිබේ. මෙම කාන්තාවන් දෙදෙනා අතර පැවති මිත්‍රත්වය ප්‍රයෝජනයට ගත් සැකකාරිය, මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙලෙස රන් භාණ්ඩ ලබාගෙන උකස් කර නැවත බේරා දීමෙන් විශ්වාසය ගොඩනඟාගෙන තිබූ බව පැවසේ. අවසන් වරට ලබාගත් රන් භාණ්ඩ තොගය උකස් කිරීමෙන් පසු ඇය මිතුරිය මඟහරිමින් සිටීම නිසා ඇතිවූ සැකය මත මෙම පැමිණිල්ල සිදුකර ඇත. සැකකාරිය වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක බවට තොරතුරු ලැබී තිබේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *