අද දේශබන්දු අධිකරණයට

අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හෝකන්දර පිහිටි නිවසේදී ඊයේ මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ මැයි මස 09 වනදා අරගලයට පහරදුන් බවට කියන සිද්ධියට අදාළවයි.

මෙම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම්පතක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ නීතියට ගරු කරනු ලබන පුද්ගලයෙකු ඉදිරිපත් කරන අපේක්ෂිත ඇපයක් සලකා බැලීමේ හැකියාවක් අධිකරණයට ඇතත් අධිකරණයේ මගහැර සිටින දේශබන්දු තෙන්නකෝන් වැනි සැකකරුවෙකු ඉල්ලා සිටින ඇප ඉල්ලීම සලකා බැලීමට තම අධිකරණයට නොහැකි බවයි.

තමන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින බව දැන දැනත් අධිකරණය මගහැර සිටීම යුක්තිගරුක පුද්ගලයෙකු ලෙස සිදු නොකළ යුත්තක් බවද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සඳහන් කර තිබුණා.

මේ අතර මාසයකට අධික කාලයක් අධිකරණය මගහැර සැගව සිට වරෙන්තු ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට මේ මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රකාශන නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ සහ රාජිත සේනාරත්න පදිංචි ස්ථාන 05ක අලවා ප්‍රදර්ශනය කරන ලෙස ද නියෝග කළා.

එමෙන්මල ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ එය ප්‍රචාරය කිරීමට ද නියම කර තිබෙනවා.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළේයැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මොහුට වරෙන්තු නිකුත් කර තිබුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *