කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලුවේදී , උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමේ නව සැලසුම් වෙත අවධානයට යොමුකරමින්
ජනාධිපති කාර්‍යලයේදී පැවැති කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු, අභියෝග මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී තිබෙනවා.
ඒ අනුව කර්මාන්ත කලාප පිහිටුවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන ලබා දීම සහ අපනයන ක්ෂේත්‍රයේ පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා.
කර්මාන්ත අංශ දියුණු කිරීම සඳහා ඉහළ බලපෑමක් සහිත ඉඩම් සංවර්ධනය කර කර්මාන්තකරුවන්ට ලබා දීමේදී දැනට පවතින ක්‍රමවේදය යටතේ කර්මාන්තකරුවන්ට මෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයටද මුහුණ දීමට සිදුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසදුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
කර්මාන්ත අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන විසින් දැනට සපයනු ලබන සේවාවන් නිශ්චිත ලෙස හඳුනාගෙන ඒ සඳහා පිහිටුවා ඇති සියලු ආයතන ක්‍රියාකාරිත්වය මත ඒකාබද්ධ කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.