අනුරාධපුර මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන, ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් පවත්වන ලද 16 වැනි දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම, ධීවර නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න, නිමල් පලිහේන යන මහත්වරුන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා, අදාළ අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතන වන ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ලංකා ධීවර සංස්ථාව, සීනෝර් පදනම (CEYNOR Foundation), ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ ධීවර සමිති නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

මෙහිදී මිරිදිය ධීවර ප්‍රජාවගේ ගැටලු සාකච්ඡාවට ලක්විය. නීතිවිරෝධී ධීවර කටයුතු, ප්‍රමිතියෙන් තොර සහ තහනම් දැල් භාවිතය, වැව් බදු දීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු, මත්ස්‍ය පැටවුන් බෙදාහැරීමේ ප්‍රමාදයන්, ගොවි සහ ධීවර සංවිධාන අතර සහයෝගීතාව නොමැති වීම, මෙන්ම අතරමැදියන්ගේ සූරාකෑම් සහ අලෙවි පහසුකම්වල හිඟතාව වැනි මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු රැසක් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

වැව් බදු දීම සඳහා විධිමත් හා විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම, මත්ස්‍ය පැටවුන් අවශ්‍යතාවයට සරිලන පරිදි කඩිනමින් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීම, ගොවි සහ ධීවර ප්‍රජාව අතර අවබෝධය ගොඩනැගීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම, අතරමැදියන්ගේ බලපෑම අවම කරමින්, ධීවරයාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබා දීම සඳහා ධීවර සංස්ථාවේ මැදිහත්වීම ශක්තිමත් කිරීම, ධීවර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ආදී ලෙස මෙම ගැටලු සදහා කඩිනම් විසඳුම් ලබා දීමට මෙහිදී තීරණ ගණනාවක් ගන්නා ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, “අපගේ අරමුණ වන්නේ සියලුම රාජ්‍ය ආයතන සහ පළාත් සභාවල සහයෝගය ලබාගෙන, ධීවරයා මුහුණ දෙන ගැටලු එම ස්ථානයේම විසඳීමයි. අතරමැදියන්ගෙන් තොරව ධීවරයාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබා දෙමින්, මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නංවා, එහි ප්‍රතිලාභ සැමට සමසේ බෙදී යන ක්‍රමවේදයක් සකස් කිරීම තුළින් මෙම කර්මාන්තය යළි ගොඩනැගීමට අපි කැපවී සිටිනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *