ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය හරාරේ හිදී මේ වන විට පැවැත්වෙයි.
එහිදී කාසියේ වාසිය ලබා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක සෝන් විලියම්ස්ගේ ආරාධනය පරිදි පළමුවට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගන්නට සමත්විය.
ලකුණු ලබා ගැනීමට දැඩි ආයාසයක් දැරීමට සිදුවූ මෙම තණතිල්ලේ මුල් පන්දුවාර 10 තුළ දී ශ්‍රී ලංකා පිලට ලබා ගැනීමට හැකියාව ලැබුණේ එක් කඩුල්ලක් දැවී ලකුණු 29ක් පමණි.
අද දින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිෂාන් මදුෂ්කට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වන්නට සිදුවූ අතර දෙවැනි කඩුල්ල සඳහා පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 100ක සබඳතාවක් පවත්වන්නට සමත් විය.
එහිදී පැතුම් නිස්සංක ලකුණු 76ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 38ක් ලබාගන්නට සමත්වූහ.
තරගයේ 36 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ලකුණු 6කට දැවී ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 161ක් ලෙසින් සටහන්ව තිබුණි.
කෙසේවෙතත් ඉන් අනතුරුව පිටියේ සිය අණසක පතුරුවන්නට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වූ ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් සමත් වූයේ ශ්‍රී ලංකා පිලේ පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 298ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.
එහිදී ජනිත් ලියනගේ පන්දු 47කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 70ක් සහ කමිඳු මෙන්ඩිස් හයේ පහර දෙකක් සහ හතරේ පහර 4ක් සමඟින් පන්දු 36කදී ලකුණු 57ක් ලබාගන්නට සමත්විය.
ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් දියත් කළ මෙම ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට සිය අවසාන පන්දු වාර 5 තුළ දී ලකුණු 65ක් ලබා ගැනීමට හැකියාව ලැබුණි.
පන්දු යැවීමේ දී සිම්බාබ්වේ පිල වෙනුවෙන් රිචඩ් න්ගරාවා කඩුලු 2ක් සහ බ්ලෙසින් මුසරබානි, ට්‍රෙවර් ග්වන්ඩු, සිකන්දර් රාසා සහ සෝන් විලියම්ස් කඩුලු 1 බැගින් දවා ගැනීමට සමත්වූහ.
මේ අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 50ක් තුළ දී ලකුණු 299ක් සිම්බාබ්වේ පිල විසින් ලබා ගත යුතුව ඇත.
