රට තුළ සමුපකාර පුනරුදයක් ගොඩනැගීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ගෙන යන විධිමත් වැඩපිළිවෙළ උතුරු පළාත තුළ ද වඩාත් සක්‍රීය වී තිබේ.
එහි තවත් ඉදිරි පියවරක් ලෙස උතුරු පළාතේ සමුපකාර සමිති හා සංගම් සෘජු ලෙස අධීක්ෂණය කර එහි කටයුතු වඩාත් විධිමත් ව මෙහෙවීම හා නියාමනය කිරීමේ අරමුණෙන් උතුරු පළාතේ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (30) උතුරු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
මෙහිදී උතුරු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් ඇතුළු යාපනය, වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්වල සහකාර සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් සමඟ ඒ ඒ දිස්ත්‍රික්වල ප්‍රගතිය පරීක්ෂා කරමින් උතුරු පළාතේ සමුපකාර සංවර්ධනයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව පූර්ව සැලසුම් සකස් කෙරිණි.
සමුපකාර ව්‍යාපාරයේ අනාගත සංවර්ධන ඉලක්ක හා ප්‍රමුඛතා, ජනතා අපේක්ෂා හා ව්‍යාපාරික ශක්තීන්, සමුපකාර සමිති හා සංගම්වල ධාරිතා සංවර්ධන කටයුතු, දැනට හඳුනාගෙන ඇති ගැටලු හා අභියෝග, ඉදිරි සැලසුම් හා යෝජනා ආදිය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කරන ලදී.
එසේම උතුරු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරී සේවය ඇතුළු විවිධ තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීම කඩිනමි කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව උතුරු පළාතේ ක්‍රියාත්මක වන ළූණු, තල්, පොල් ආදී බෝග ආශ්‍රිත නිෂ්පාදන සමුපකාර සමිති හා සංගම් කීපයක් නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා එම සමිතිවල අවශ්‍යතා හා ගැටලු පිළිබඳව විමසා බැලීමට ද කටයුතු කළේ ය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ උපදේශක ශාන්ත ජයරත්න මහතා ඇතුළු උතුරු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් සහභාගී වී සිටිය හ.