පලස්තීන ජනතාවට ආරක්ෂිත දේශ සීමාවක් තුළ නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇති බැවින් ඒ සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
සෑම වසරකම මැයි 15 වැනි දින අල් නක්බා දිනය සමරනු ලැබේ. එය පලස්තීන නිජබිම විනාශ කිරීමේ ආරම්භය සහ 1948 දී පලස්තීන ජනගහනයෙන් බහුතරයක් මහා පරිමාණයෙන් අවතැන් වීමේ ආරම්භය සනිටුහන් කරයි. ඒ අනුව අද දිනට යෙදී තිබූ 75 වැනි අල් නක්බා සැමරුම වෙනුවෙන් කොළඹ දී පැවැති උත්සවයක දී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
පසුගිය කාලයේ නොයෙකුත් ආකාරයේ ජාත්‍යන්තර වැඩපිළිවෙළවල රැසක් මේ ගැටලුව වෙනුවෙන් දියත් වුවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පලස්තීන ජනතාවගේ දේශපාලන, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආගමික හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන් ම දශක හතරකට වැඩි කාලයක් පලස්තීන ජනතාව තම භූමිය අහිමි වීම වැනි අභියෝග රැසකට මුහුණ දුන්නත් ඔවුන්ට භූමියකට, රටකට හිමි ස්වයං නිර්ණ අයිතිය අහිමි කළ නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.
මැදපෙරදිග කලාපයේ කල්පවත්නා සාමය ඇති කර ගත හැක්කේ සියලු දෙනා එකට එකතු වී සාකච්ඡා කර සම්මුතියෙන් බවට තමා විශ්වාස කරන බවත් එහි දී ගෝලීය වශයෙන් පලස්තීන ජනතාව වෙන් කොට නොසැලකීම, කොන් නොකිරීම, පීඩා නොකිරීම මෙන්ම ඔවුන් සතු අයිතින් දිනා ගැනීමට සැවොම කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. බෝම්බ හෙලා පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරිම වැළැක්විය යුතු බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ඒවා වැරදි හෙයින් ස්වාධින රාජ්‍යයක් තුළ ඔවුන්ට හිමි නිදහස ලබා දීමට ගෝලීය වශයෙන් සියලු දෙනා පෙරට පැමිණිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.