මේ වනවිට රට පුරා 40,000ක ගුරු හිගයක් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මේ වසර අවසන් වන විට පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ බඳවා ගැනීමට රජය බලාපොරොත්තු වන බවයි.
රජයේ පාසල්වල පළමු වසර සිට පහ වසර දක්වා සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු 4,240ක් සහ දමිළ මාධ්‍යයෙන් පුරප්පාඩු 2827ක් ද, හය වසර සිට එකොළහ වසර දක්වා ගුරු පුරප්පාඩු සිංහල මාධ්‍යයෙන් 11,274ක් සහ දමිළ මාධ්‍යයෙන් 6,121ක් ලෙස පුරප්පාඩු පවතී.
බස්නාහිර පලාතේ පමණක් රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු පළමු වසර සිට පහ වසර දක්වා සිංහල මාධ්‍යයෙන් 1310ක් ද, දමිළ මාධ්‍යයෙන් 302ක් සහ හය එකොළහ වසර සඳහා සිංහල මාධ්‍යයෙන් 1325ක් සහ දමිළ මාධ්‍යයෙන් 397ක් ගුරු පුරප්පාඩු තිබේ.
ඒ අනුව සමස්ථයක් ලෙස දිවයින පුරා 40,000ක ගුරු පුරප්පාඩු පවතී.
අධ්‍යාපන අමාත්‍යංශයේ පුරප්පාඩු පිරවීමේදී විභාග ක්‍රමයක් යටතේ බඳවා ගැනීම් සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කර තිබෙන බවයි අගමැතිවරිය පෙන්වා දුන්නේ.
උපාධිධාරීන් ගුරු වෘත්තියට බඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට උසාවියේ නඩු කටයුත්තක් සිදුවන බැවින් ඒ සියල්ල සලකා බලා ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි අගමැතිවරිය සඳහන් කළේය.
කෙසේ වෙතත් පවතින පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ මේ වසර අවසන් වන විට පිරවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.