2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වනවිට නිකුත්වී ඇති නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය තහවුරු කර ගෙන තිබේ.
මෙවර ඡන්දයෙන් පැවැති පළාත් පාලන ආයතන 339න් ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 265ක බලය හිමි කරගැනීමට සමත්වී ඇත. ඊට මන්ත්‍රී ධූර 3927 ක් අයත්. එය සියයට 43.26ක ප්‍රතිශතයක් ලෙස සටහන් වේ.
සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 14ක බලය හිමි කර ගැනීමට සමත්වූ අතර හිමිව ඇති මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 1767කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 742ක්ද ලබා ගත්තද ඔවුන්ට කිසිදු පළාත් පාලන ආයතනයක බලය හිමි කර ගැනීමට නොහැකි වී තිබේ. එක්සත් ජාතික පක්ෂයටද කිසිදු පළාත් පාලන ආයතනයක බලය නොලැබූ අතර එම පක්ෂය ලබා ගෙන ඇති සමස්ථ මන්ත්‍රීධූර සංඛ්‍යාව 381කි.
මේ අතර ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂය (ITAK) පළාත් පාලන ආයතන 35ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන ආයතන 6ක්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 1ක්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය පළාත් පාලන ආයතන 3ක් ලෙස බලය ලබා ගෙන තිබේ.
2018 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 231ක බලය හිමිවිය. එහිදී පළාත් පාලන ආයතන ප්‍රතිශතයක් ලෙස බලය බෙදීයාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 70ක බලය හිමි කර ගෙන තිබුණි. 2018 වසරේ ආණ්ඩු බලය ගෙන ගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 34 ක බලය හිමිකරගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වුයේ පළාත් පාලන ආයතන 09 ක් පමණයි.
එම මැතිවරණයේදී ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයට පළාත් පාලන ආයතන 43ක බලය හිමි වූ අතර ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්රික්කයේ පළාත් පාලන ආතන 05 ක බලය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මූර්තූර්, කින්නියා සහ කුච්චුවේලි ප්‍රාදේශිය සභාවල බලය හිමි විය.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,156,338ක්. ඡන්ද විමසීම පැවැත්වෙන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 339ක් වන අතර ඒ අතරට මහ නගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 275ක් (කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර) සෙසු පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීමට නියමිතයි.
අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසූවේ තනි පක්ෂයක් ලෙස මේවන විට ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 254ක බලය හිමිකරගෙන තිබෙන බවයි.
තනි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනාගත්තද අනෙක් පක්ෂ සියල්ල එක්වුවහොත් ඇතැම් පළාත් පාලන ආයතන වල ජාතික ජනබලවේගයට වඩා වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබාගෙන තිබේ. 2018 පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයේදී ලබා ගත් පළාත් පාලන ආයතන වලට වඩා වැඩි පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමි කර ගැනීමට ජතික ජන බලවේගයට සමත්වූ බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව සියයට 50ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති හා උප සභාපති නම්කර එවන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දෙයි. එසේ බලයක් නොගතහොත් ඊට මැතිවරණ කොමිසම මැදිහත් නොවී සභාපති හෝ නගරාධිපති පත් කරගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයින්ගේ එකඟතාවයෙන් සිදු කෙරෙනු ඇත.