පාර්ලිමේන්තුව අද (08) සහ හෙට (09) රැස්වීමට නියමිතය.
මේ අනුව රේගු ආඥා පනතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 09 වැනි දා ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතය.
හෙට දිනයේ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා 6ක් විවාදයට ගැනීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්, හිටපු රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භුක්ති විදින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහළ නැංවීමේ වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තා මගින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබාදීමට අදාළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස්රථ පමණක් මෙරටට ගෙන්වීමට අදාළ නීති සකස් කිරීම පිළිබඳ යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් ඉදිරිපත් කරනු ලබන “සංවර්ධන යෝජනා” නමින් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ඉදිකර ඇති එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ලද සියලුම ගොඩනැගිලි මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම සඳහා කටයුතු කිරීමට අදාළ යෝජනාව මෙදින විවාදයට ගැනීමට ද නියමිතය.