රජයේ පිළිවෙත ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රසාදය

සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ මාවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අගය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk අද (24) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අමාත්‍යංශයේ දී මුණගැසුනේ ය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා ගමන ඉතාම වැදගත් සංචාරයක් ලෙස ශ්‍රී ලංකා රජය සලකන බව විජිත හේරත් අමාත්‍යවරයා සඳහන් කළා.
නව රජය යටතේ මානව හිමිකම්, සමාජ සාධාරණත්වය සහ සංහිඳියාව පිළිබඳව රජය මේ වන තෙක් ලබා ඇති ප්‍රගතිය මහකොමසාරිස්වරයාට සියසින් දැක බලාගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකා ජනතාව අඛණ්ඩව මුහුණ දුන් අර්බුද හේතුවෙන් මතු වූ ආර්ථික පසුබෑමෙන් ජාතියක් ලෙස මිදීම සඳහා රජය විසින් පියවර ගණනාවක් ගත් බවද විජිත හේරත් ප්‍රකාශ කළා.
යුද්ධය අවසන් වූ වහාම සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳව යෝජනා කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ වන අතර නිසැක වශයෙන්ම ඒ මග යාමට නව රජය අදිටන් කරගෙන සිටින බව ද අමාත්‍යවරයා දැනුම් දුන්නා.

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත ජනතාවට පීඩා දෙන නීතියක් ලෙස තවදුරටත් පවත්වා නොගෙන එය අහෝසි කිරීම සඳහා ඉක්මණින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද විජිත හේරත් අමාත්‍යවරයා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා වෙත දැනුම් දුන්නා.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ශක්තිමත් කර එහි කටයුතු ඉදිරියට කරගෙන යාමට කටයුතු කරන බව ද ඔහු පෙන්වා දුන්නා.
මීට අමතරව ඔක්තෝබර් 23 වන දින ජාතික සමගි දිනය (National Unity Day) ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලෝක දේශපාලනය දැඩි අර්බුකාරී තත්ත්වයට පත්ව ඇති මොහොතක තමන් ලංකාවට පැමිණියේ දැඩි බලාපොරොත්තු සහගතව යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් Volker Türk ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ රටක් බව තමන්ට අමතක නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මානව හිමිකම් කඩවීම පිළිබඳව සොයා බැලීම තම ආයතනයේ වගකීම වුවත් සෑම ජන කොට්ඨාසයකටම සමාන ආර්ථික අවස්ථා නොලැබීම මානව හිමිකම් හා බැඳුනු අංගයක් ලෙස තමන් සලකන බව අමාත්‍යවරයා වෙත පවසා සිටියා. එබැවින් ආර්ථික ප්‍රතිලාභ සමාජයේ සෑම කෙනෙකුටම බෙදී යාම තහවුරු කිරීම ගැන තමන් අවධානය යොමු කරන බවද ඔහු කියා සිටියා.

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් සෑම විටම තම පවුලේ අතුරුදහන් වූවන් පිළිබඳ දැනගැනීමට නොඉවසිල්ලෙන් සිටීම සාමාන්‍ය දෙයක් ලෙසත් ඔහු සඳහන් කළා.
නව රජය විසින් ජාතික සමගිය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරනු ලබන නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විමසිල්ලෙන් පසුවන බවද ඔහු ප්‍රකාශ කළා.
දැනට රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව තමා සතුටට පත්වන බවත් එම කාර්යය සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය මානව හිමිකම් ආයතනය ශ්‍රී ලංකාවට ලබා දීමට බලාපොරොත්තු වන බවත් මහකොමසාරිස්වරයා අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *