නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවේ

නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවේ.

ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ සාකච්ඡා මාලාවක් ඉදිරි සතියේදී පැවැත්වෙනවා.

මෙම නව ප්‍රතිපත්තිය මගින් රජයේ ජාතික සංවර්ධන දැක්මට සමගාමීව, නවෝත්පාදන වාණිජකරණය වේගවත් කරමින් සමාජ සංවර්ධනය හා පරිසර තිරසරභාවය අත්පත් කර ගැනීම අපේක්ෂා කරයි.

මෙරට පර්යේෂණ සහ සංවර්ධන (Research & Development ) ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය මෙම සාකච්ඡා පවත්වනු ලබනවා.

නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.

මෙම රැස්වීම් මාලාව ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කිරීමට නියමිතයි.

සියලුම අංශවල අවශ්‍යතා සහ අපේක්ෂා මෙම පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තියට අන්තර්ගත කර ගැනීමට එහිදී අපේක්ෂා කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සහ පෞද්ගලික පර්යේෂණ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් මෙම රැස්වීම් මාලාව සඳහා සහභාගී වීමට නියමිතයි.

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ (NASTEC) සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් විශේෂඥයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සම්පත්දායකත්වය සපයා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *