ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදු කළ යුතුයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බවත් ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට එක්වෙමින්.

ආනයන සීමා ලිහිල් කිරීම මගින් රජය සතු ඩොලර් සංචිතයට සිදු වන බලපෑම වළක්වා ගනිමින් ඩොලර් සංචිත ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අපනයන ආදායම් වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා නිශ්චිත වැඩසටහනක් රජය සතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.
තේ, පොල් සහ රබර් යන වගා ආශ්‍රිත අපනයන සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, එහිදී එම ක්ෂේත්‍ර තුළ වර්තමානයේ මතු වී ඇති අභියෝග සහ ගැටලු මෙන්ම, ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා වන යෝජනාද මෙම සාකච්ඡාවට එක් වූ නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණා.
ආර්ථිකයට තිරිංග යොදා සීමා කළ නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද මෙහිදී අවධාරණය කළා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, තේ, රබර්, පොල් වගා ආශ්‍රිත කර්මාන්තයන්ට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සහ අපනයන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *