පළාත් පාලන මැතිවරණයේ පශ්චාත් මැතිවරණ කාලය තුළ නීති උල්ලංඝනය කිරීම් කිසිවක් වාර්තා නොවන බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් තහවුරු කරයි. මෙම තත්වය මගින් ශ්‍රී ලංකාව යහපත් මැතිවරණ සංස්කෘතියකට ප්‍රවේශ වී තිබෙන බව තහවුරු වී ඇතැයි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසයි.
“ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය සමස්ථ මැතිවරණ කාල සමය තුළම මැතිවරණ නිරීක්ෂණයෙහි යෙදුණා. අද දක්වා පවත්වන ලද දීපව්‍යාප්ත ඡන්ද විමසීම් අතර ඉතාමත්ම අවම රාජ්‍ය දේපළ අවභාවිතාවක් සහිත ප්‍රචණ්ඩ ක්‍රියා විරහිත මැතිවරණයක් සාක්ෂාත් කළා. ඊයේ දිනේදී පැවති මැතිවරණය මෑත කාලීනව පවත්වන ලද ඡන්ද විමසීම ඇසුරෙන් සහ පළාත් පාලන ඡන්ද විමසීම් අතර විශේෂයෙන්ම ඡන්ද දායකයින් හට සුවිශේෂී අවස්ථාවක් උදාවුණේ මේ ඔස්සේ තමන්ගේ අපේක්ෂකයා හෝ දේශපාලන පක්ෂය තෝරා ගන්නට.එබැවින් ශ්‍රී ලංකාව ඉතාමත් යහපත් මැතිවරණ සංස්කෘතියකට ප්‍රවේශ සිටිනවා. එබැවින් අපට සටහන් කරන්නට හැකියි ඉතාමත් අවම සිද්ධීන් ප්‍රමාණයක් සහිත උසස් ආකාරයේ මැතිවරණ ක්‍රියාවලියක් ඊයේ දිනයේදී අවසන් වුණා.”
පශ්චාත් මැතිවරණ තත්ත්වය පිළිබඳව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කලේ,
“පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් වී අවසන් වෙමින් තිබෙන්නේ. පශ්චාත් කාලය තුළ එකම සිදුවීමක්වත් වාර්තා වන්නේ නැහැ. මේ ඉතාමත් සාධනීය තත්ත්වයක්. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය වගේම මේ මැතිවරණයේත් පශ්චාත් කාලයේදී කිසිදු ගැටුමක් වාර්තා වන්නේ නැහැ. අප විශ්වාස කරනවා ඉදිරි දින කිහිපය තුළත් මෙම සාමකාමී බව ආරක්ෂා කරගන්නට සියලුම දේශපාලන කණ්ඩායම් ක්‍රියා කරයි කියලා.”
මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පැෆරල් සංවිධානය විසින් නිරීක්ෂකයින් තුන්දහසක ප්‍රමාණයක් ඡන්ද මධ්‍යස්ථානය ඇතුළත සහ පිටත තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබුණි. ඊට අමතරව ජංගම නිරීක්ෂණ රථ දෙසීයක් ද ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ටාසයක්ම ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන අතරතුර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබුණි.
පළාත් පාලනයේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ලෙස බෙදීමක් නොමැති බවත් කුමන කණ්ඩායම දේශපාලන බලය ලබා ගත්තත් සියලු පාර්ශවයන් වල වගකීම තමන්ගේ ගම සහ නගරය සංවර්ධනය කිරීමේ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සාමූහිකව සියළු දෙනා ක්‍රියා කිරීම බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියා.